සෙලින්කෝ ලයිෆ් 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 22.45 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 36.49 ක මුළු ආදායමක් වාර්තා කර ඇත.
2025 ජුනි 30න් අවසන් වන මාස හයක කාලය තුළදී සමාගමේ වාරික ආදායම, පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාරික ආදායමට වඩා සියයට 12.5 කින් ඉහළ ගොස් ඇති අතර එම කාලපරිච්ඡේදය සඳහා ආයෝජන සහ අනෙකුත් ආදායම් රුපියල් බිලියන 14.04 ක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස සෙලින්කෝ ලයිෆ් හි ඒකාබද්ධ ආදායම සියයට 7.3 කින් වර්ධනය වී ඇති බව සමාගමේ මූල්‍ය ප්රකාශනවල වාර්තා කර ඇත.
ජුනි 30 දින වන විට සමාගමේ මුළු වත්කම් රුපියල් බිලියන 266.38ක් වූ අතර එය මාස හයක් තුළදී සියයට 5.9 ක වර්ධනයක් වන අතර එය රුපියල් බිලියන 2.5ක මාසික සාමාන්‍යයකින් රුපියල් බිලියන 14.94 ක වැඩි වීමකි. සමාගමේ ආයෝජන කළඹ එම කාලය තුළ සියයට 6.77 කින් වර්ධනය වී රුපියල් බිලියන 237.5 ක් වූ අතර ජීවිත රක්ෂණ අරමුදල සියයට 7.6 කින් රුපියල් බිලියන 194.7 ක් දක්වා වර්ධනය වී ඇත. එය 2024 වසර අවසානයේ සිට රුපියල් බිලියන 13.8 ක වැඩි වීමකි.
“වසරේ මුල් භාගය තුළ අපගේ කාර්යසාධනය මගින් පෙන්නුම් කරන්නේ සමාගමේ මූලික අරමුණ වන රැකවරණය කෙරෙහි දක්වන නොසැලෙන අවධානයයි. මේ හේතුවෙන් වාරික ආදායම සමාගමේ මුළු ආදායමට දායකවන ප්‍රධාන සාධකය වන්නේය,” යැයි සෙලින්කෝ ලයිෆ් හි විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. “ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ අපගේ මෙම වර්ධනය නැවත තහවුරු කරන්නේ සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම ලෙස ලෙස 2025 දීත් රැඳී සිටින බවයි. අපගේ වාරික ආදායම දෙවන ස්ථානයට පත් ජීවිත රක්ෂණ සමාගමේ වාරික ආදායමට වඩා රුපියල් බිලියන 3.72 කටත් වඩා වැඩි වන අතර එය අප විසින් රැකවරණය ලබා දෙන මිලියන සංඛ්‍යාත ජීවිතවල විශ්වාසය නිසාවෙනි.”
සමාලෝචනයට ලක් වූ මාස හය සඳහා සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට රුපියල් බිලියන 15.14 ක ශුද්ධ හිමිකම් සහ ප්රතිලාභ ගෙවා ඇති අතර එය පෙර වසරේ මුල් භාගයට වඩා සියයට 8.3 ක වැඩි වීමකි. මාස හය සඳහා සමාගම් බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 3.1 ක් සහ ශුද්ධ ලාභය රුපියල් බිලියන 2.08 ක් විය.
ප්‍රධාන මූල්‍ය අනුපාත වලට අනුව, මාස හය සඳහා සෙලින්කෝ ලයිෆ් හි කොටසක් සඳහා මූලික ඉපැයීම රුපියල් 41.63 ක් වූ අතර 2025 ජුනි 30 වන දිනට කොටසකට ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 1,238.87 ක් වී සියයට 9.1 ක වර්ධනයක් නියෝජනය කරයි.
සෙලින්කෝ ලයිෆ් සමාගම තම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි. මෙම වසර මුලදී බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව විසින් ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය සහ සමස්තයක් ලෙස මෙරට 22 වන වටිනාම සන්නාමය ලෙස සමාගම ශ්‍රේණිගත කරන ලද අතර 2025 දී අඛණ්ඩව 19 වන වසරටත් වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස ද සෙලින්කෝ ලයිෆ් තේරී පත් විය. 2022 සහ 2023 වසරවල දී ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, 2023 දී ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් දැරීය.